දැං එතකොට ඔයා සර්ව සම්පූර්ණද?

සති කීපයක් තිබ්බ පොඩි පරහක් මෙහෙම පිරිමහගන්න හිතුවා…

මේක පැහැදිලිවම (මූලිකව) එක් පුද්ගලයෙක් සහ (ද්වීතියිකව) තව කීපදෙනෙක් ඉලක්ක කරලාම ලියන එකක් කියලා කියන්නත් ඕනි…හැබැයි ලංකාවෙ මිනිස්සු ගැන දන්න නිසා මට කියන්න පුළුවන් රටෙං බාගෙකට මේ කියන දේවල් අදාළයි කියලා.

මේකයි කතාව…හුඟදෙනෙක් කැත දෙයක් දැක්කම මූණ පුළුටු කරගන්නවා…නැත්තං අහක බලාගන්නවා නැත්තං හිනාවෙනවා…හින්ට් ගහනවා…එක එක ඒවා කරනවා…මාත් කරලා තියෙනවා…මං සර්ව සම්පුර්ණ නොවන නිසා යම් යම් තැන් වලදි මට කැතයි කියලා හිතෙන දේවල් දිහා අවඥාවෙන් බලලා නැතුවා නෙවේ…

හැබැයි මං යම් තැනකදි තේරුං ගත්තා කාරණා කීපයක්…

1. ලස්සන/කැත සාපේක්ෂයි.

2. ඉස්සරට වඩා දැං මිනිස්සු සංසන්දනය කරන්න පෙළඹිලා තියෙනවා සමාජ ජාල නිසා

3. සමාජ ජාල තියෙන්නෙම තමංට තියෙන දේවල්/ තියනවා කියලා හිතන දේවල් උලුප්පලා පෙන්නන්න…

4. කාටවත් හානියක් නොවන තැනකදි පොඩි මවාපෑමක් කලාට වරදක් නෑ…

ඔළුවක් තියෙන මිනිස්සුන්ට ඔය ටිකේ සම්බන්ධය තේරුංගන්න පුළුවන් උනාට මේක ලියන්නෙ එහෙම කරන්න බැරි පිරිසක් වෙනවෙන් නිසා මං ඔය හතරෙ සම්බන්ධය පැහැදිලි කරන්නං…

පෞද්ගලිකව මං කැමති නෑ සුදට….ඒ මං සුදු නැති නිසා නෙවේ…ඒත් තලෙලු හෝ කලු සමහර මිනිස්සුංගෙ තියෙන ලස්සන (මට සාපේක්ෂව) සුදු හම තියෙන මිනිස්සුංගෙ නෑ…මට අනුව සුදු කිසිම ලාලිත්‍යක් නැති පාටක්. ඉතිං ඒක මගේ කැමැත්ත නෙ…ලංකාවේ හුඟක් අය කැමති සුදු හමට…ඉතිං මට පාංද? නෑ!

සෝෂල් මීඩියා ආපු තැන ඉඳං මිනිස්සු ට්‍රෙන්ඩ් වලට සෙට් වෙන්න, මේන්ස්ට්‍රීම් වෙන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නෙ…ඒක සාමාන්‍යයයි වගේම සාධාරණයි. සෝෂල් මීඩියා හදලා තියෙන්නෙම ⁣පම්පෝරි ගහන්න…තමංගෙ හැකියාවක් ගැන, තමංගෙ ඇඟේ හැඩේ ගැන නැත්තං හමේ පාට ගැන…මේ ඕනි දෙයක් ගැන නිදහසේ තමංගෙ අදහස් බෙදාගන්න…තමංට ලස්සනයි කියලා හිතෙන දෙයක් දාලා මිනිස්සුංගෙ අදහස් ලබාගන්න…පැහැදිලිවම ඕනිම කෙනෙක් දාන ඕන වර්ගෙක දේශපාලන විචාර, ක්‍රීඩා විචාර, කවි, කතන්දර, පිංතූර, සිංදු, විඩියෝ…එකී මෙකී නොකී හැම දේකම අන්තිම බලාපොරොත්තුව ලයික්ස්, කමෙන්ට්ස් සහ තමංව අගය කරන මිනිස්සු පිරිසක් තමං වටේ එකතු කරගැනීම. එහෙම නැතුව වෙන අරමුණක් වෙනුවෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා කව්රුහරි කියනවා නං එ්ක විහිළුවක්…

හැම දේකම අවසාන අරමුණ වැලිඩිටි එක…මාව මේ සමාජය විසින් ගණං ගන්නවා…අගය කරනවා කියන හැඟීම වෙනුවෙන් තමා අපි හැමෝම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ.

ඒ වගේමයි ඕක ඇතුලෙදි සාපේක්ෂ අදහස් දාස් ගාණක් එකිනෙක ගැටෙනවා. කලු ලස්සන අය ඉන්නවා, සුදු ලස්සන අය ඉන්නවා…ඔයාට හිතන්න පුළුවන් ඕනිම අදහසකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් දරන එක්කෙනෙක් හරි මේක අස්සෙ ඉන්නවා…ඉතිං අපි අපේ වැලිඩිටි එක වෙනුවෙන් නිරන්තරයෙන් ගැටෙනවා.

ඔය ගැටීම වඩා තීව්‍ර උනේ ෆේස්බුක් රියැක්ෂන් කියලා මගුලක් ආපු දා ඉඳං…(දැං හිතන්න එපා මේ හරිම බබා මාතෘකාවක් කතා කරන්නෙ කියලා…ඉවසලා ඉස්සරහාට කියෝගෙන යංකො)

මං මේ බ්ලොග් සටහන ලියන්න ගත්තෙ මගේ ඊගො එකට වෙච්චි හානියක් නිසා ඇතිවෙච්චි හිත් තැවුලක් මුල්කරගෙන…දවසක් උදේ ඇහඅරෙද්දි ෆේස්බුක් නොටිෆිකේෂන් වල දිගට හරහට හිනා මූණු තොගයක් දැකලා මට සෑහෙන තදවෙලා හිටියා දැං මාසෙක විතර ඉඳං…

මං කොහොමත් හෙනම සිරා දේවල් කියනවා අඩුයි…මට වෙච්චි එපාකරපු සිද්ධියක් උනත් කියෝන මිනිහට හිනා යන විදිහට දාලා ඒකෙං ගන්න පුළුවන් වින්දනය ගන්න මං කැමතී…හැබැයි ඔය අතර මං ඇත්තටම හදවතින්ම කියන කරන දේවල් නැතුවාම නෙවේ…මං බය නැතුව කියනවා මං හරි කැමතී මං සිංදුවක් හරි පිංතූරයක් හරි දැම්මම මිනිස්සු එ්වා අගය කරනවා නං සහ ලයික් කමෙන්ට් දානවා නං…

පෞද්ගලිකව මම මනුස්සයෙක්ගෙ පෙනුමෙ කැත කියලා දෙයක් දකිනවා අඩුයි…මොකද අපි කාටවත් ඉල්ලලා ගත්තු පෙනුමක් නෙවේ තියෙන්නෙ…අපේ පෙනුම ගැන අපිට කරන්න දෙයක් නෑ වගේම ඕනිම මනුස්සයෙක්ගෙ පොඩි හරි ලස්සනක් තියෙන බව මගේ ඇහැට පේනවා…සමහරවිට ඒ මං චිත්‍රශිල්පියෙක් නිසා වෙන්නත් ඇති…ඉතිං මං සෝෂල් මීඩියා වල මගේ යාළුවො දාන පිංතූර අගය කරනවා…කව්රුහරි සිංදුවක් කියලා තිබ්බොත්, බලි කුරුට්ටක් හරි ඇඳලා තිබ්බොත්, කවියක් ලියලා තිබ්බොත් මං ඒවා අගය කරන්න හෝ අඩුපාඩුවක් තිබ්බොත් ඒක ⁣හිත නොරිදෙන විදිහට පෙන්නලා දෙන්න දෙපාරක් හිතන්නෑ…මොකද ඒක එයාගෙ මහන්සිය…අපි කැමතී අපේ මහන්සියට ඇගයීමක් ලැබෙනවට…

ඒකෙං අදහස් කරන්නෑ මං දකින හැම එකටම මගේ ඇහැ යනවා…මං ඒ හැම එකටම කැමතී කියලා…නෑ පැහැදිලිවම ඔයා අකමැති දේවල් වලට ඔයා ලයික් වත්, ලව් වත්, කමෙන්ට් වත් දාන්න යන්න ඕනි නෑ…අකමැති නං දැක්කෙ නෑ වගේ යන්න පුළුවන්…මං මට එහෙම විශේෂ ලස්සනක් නැති දෙයකට උනත් “මේක හොඳ උත්සාහයක්…අපි ඉස්සරහට මේ වගේ තව ලස්සන වැඩ කරමු” කියලා හිත සතුටෙං වචනයක් දෙකක් කියලා යන්නෙ ඒක මගේ යුතුකමක් කියලා හිතලා…

සරලම කතාව මේකයි…අපි හැමෝටම ඕනි අපිය අගය කරන මිනිස්සු…මං දෙයක් ප්‍රසිද්ධ කරලා ඒකෙං බලාපොරොත්තු වෙන්නෙ මං ඒකෙ දකින ලස්සන අනිත් අයත් දකී කියන එක…එහෙම දකින්නැත්තං ඒකට කමක් නෑ…නොදැක්කා වගේ යන්න පුළුවන්…හැබැයි තමන්ට දෙයක් නොරුස්සන පළියට ඒකට හිනාවෙන්න හෝ පහත් කරලා කතා කරන්න යන එක වැරදී…මොකද මට කැත උනාට කාටහරි ඒක ලස්සනයි…තව කෙනෙක්ගෙ මානසික තෘප්තිය නැති කරලා මට ලබන්න පුළුවන් සතුට මොකද්ද?

ඉතිං අගය කරන්න පුළුවන් හැම වෙලාවකම අගය කරන්න…තව කෙනෙක්ගෙ උත්හාසයක් වෙනුවෙන් කාරුණික වචන කීපයක් කියන්න පුළුවන් නං ඒක කරන්න…ඔයාට කෙනෙක්ව හෝ දෙයක් කැත නං එක්කො “මං මේකට කැමති නෑ” කියලා කෙලිං කියනවා මිසක් ඒකට හිනාවෙන්න එපා…පහත් කරන්න හින්ට් ගහන්න අවඥා කරන්න එපා…

මොකද මේ ඉවක් බවක් නැතුව ඔහේ දුවන ලෝකේ ඇතුළෙ අපිට වැලිඩේට් වෙන්න පුළුවන්, තෘප්තියක් ලබන්න පුළුවන් හොඳම සහ (හුඟක් මිනිස්සුන්ට) එකම තැන සෝෂල් මීඩියා…

Leave a comment