පූසාගෙ උප්පත්තිය නැති කිරීම

මම සිංහලෙන් බ්ලොග් ලියන්නෑ. හේතුව සිංහල භාෂාවට අතරමැදි ටෝන් එකක් කියලා එකක් නෑ. සිංහලෙන් ලිව්වොත් එක්කො අර සිඟිති පාතාලෙ ගැන්ස්ටා රැප් වගේ වෙනවා නැත්තං මහප්‍රාණ වෙනවා.
ඒ වුණාට මේක සිංහලෙම්ම කියන්න ඕනි නිසා ටෝන් එකට බම්බු ගහගන්න කියලා මෙහෙම ලියනවා.
මේ කතාවෙ වස්තුබීජය අපේ පූසා. ඌට තරං සැප සම්පත් අපේ ගෙදර කිසි එකෙක්ට නැති බව මට බොහොම විශ්වාසෙන් කියන්න පුළුවන්. ඌට තියෙන ලොකුම ප්‍රශ්න වටරෝන්දෙ ගිහිං ඇවිත් ගෙට එන්න දොර ඇරවගන්න එක, නිදාගන්න සැප පහසු කුෂන් කොට්ට මෙට්ට වලින් මොන එකද තෝරගන්නෙ කියන එක, කැට් ෆුඩ්, මාළු, හාල්මැස්සො, කිරි වගේ එව්වයින් කන්නෙ මොනාද කියලා තෝරගන්න එක වගේ දේවල්. ඌ සැපේ ඉන්නෙ, සැපේ.
අපේ ගෙදර මිනිස්සුන්ට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැති උනාම කරන්නෙ උගේ සැප පහසු ජීවිතේ ගැන විචාරය කරන එක. ඉතිං එහෙම විචාරයක් මැදදි තමයි මේ බ්ලෝග් එකට පාදක වුණ කතාව ඇදුනේ.
ඔන්න අපේ අම්මා පූසා දිහා බලං කියනවා අපිත් පූසො වුණා නං අපිටත් සැපේ ඉන්න තිබ්බා කියලා. මාත් ඉතිං එයාගෙ බොහොම සාධාරණ තර්කෙට උඩගෙඩි දෙන ගමං “ඔව් අපිත් ⁣හොඳ පොෂ් ගෙදරක පූසො උනා නං ඉගෙනගන්න ඕනි නෑ, රස්සා කරන්න ඕනි නෑ දෙන දෙයක් කාලා කොනක් අල්ලං නිදාගන්න තියෙන්නෙ” කියලා කිව්වා.
අම්මලා කවදාවත් විහිළුවක් විහිළුවක් විදිහට අරං නිකං ඉන්නෑ කියන එක විශ්වය පුරා විහිදී ගිය සත්‍යයක්. පූසගෙ ලක්ෂරි ජීවිතේ සහ ෆුල් සීරියස් ලයිෆ් ලෙසන් එකක් අතර තියෙන්නෙ කෙස් ගහක පරතරයක්! අම්මා පූසව හුරතල් කරන ගමං කියපි අපෝ අපි පූසෝ වෙන එක නෙවේ කරන්න ඕනි මූත් ඊගාව ආත්මේ මනුස්සයෙක් වෙන එක කියලා.
ඊගාව ආත්ම, මනුස්ස ජීවිතේ පිවිතුරු දුර්ලභ බව නෙවේ හෙට ගෙදරට කරන්ට් එක එයිද කියලාවත් විශ්වාසයක් නැති මට ඉතිං මෙව්වා ඇහෙද්දි නළියනවා නළියනවා වගේ. මං බොහොම අමාරුවෙං කට වහං හිටියා මොකද මං සක්සුදක් සේ දන්නවා මගේ වර්ල්ඩ් විව්ස් වලට අපේ අම්මා ඔෆෙන්ඩ් වෙනවා කියලා. එහෙම ඉද්දි අම්මා එයාගෙ දේසනේ දිගටම කරං යනවා.
ඒපාර කියනවා මිනිස්සු පූසෝ කරන එක නෙවේ කරන්න ඕනි භාවනා කරලා රහත්වෙලා නිවන් දැකලා ඉපදීම නැති කරන එකලු. කිව්වම විස්වාස කරන්න පිංවත්නි I was this close! This close to කියන්න ඉතිං උපද්දවන්නැතුව හිටියා නං ප්‍රශ්න නෑනෙ කියලා. ඉතිං මං එහෙම කිව්වද?
නෑ.
ඒකනෙ මං දැං මේ බ්ලොග් එක ලියන්නෙ. එයාට කියන්න තියෙන එක මං මේක කියෝන මිනිස්සුන්ට කියනවා මොකද ඔයාලාට මාව පවුලෙන් නෙරපන්න බලයක් නැති නිසා.

කොහොම හරි, දැං මගේ කතාව. දැං අපේ අම්මා කියන කතාවෙ කොනක ඉඳං ලෙහන්න ගත්තම එයා සරලව කියන්නෙ මෙහෙම දෙයක්.
“මිනිස්සු උනාම තව මනුස්⁣සයෙක් උපද්දලා ඌට කියන්න ඕනි දැං මේ ජීවිතේ උඹේ ප්‍රශ්නයක් මේකට එකම විසඳුම දැං ඉතිං භාවනා කරලා තියෙනවද කියලාවත් දන්නැති නිවනක් හොයාගෙන ගිහිං මේක ඉවර කරන එක කියලා”.
දැං එතකො⁣ට ඉපදිච්ච එ⁣කා ඉපදෙන්නෙ තමංට මුළු ජීවිතේම කරුම ගෙවන්න වෙන බව දැනගෙන. ඉපදුනාම මට ඉගෙනගන්න වෙනවා, මට රස්සා කරන්න වෙනවා, බඳින්න වෙනවා, ලෙඩ හැදෙනවා, අම්මලා තාත්තලාට පාරම්පරික ලෙඩ තියේ නං ඒවට කරගහන්ව වෙනවා ඒත් කමක් නෑ මං ඉපදිලා ඒවට උත්තර හොයාගන්නං කියලා වොලන්ටියර් තමයි හැම එකාම උපදින්නෙ? නේද?
ආස ඇති.

එහෙම වොලන්ටියර් උපදින උන්ට නං “දැං ගිහිං භාවනා කරලා මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන විදිහක් හොයාගනිං” කිව්වට කමක් නෑ. මං වගේ මේ ලෝකෙ ඉඳං හුස්ම ගන්න වීමම කරුමයක් විදිහට සළකන ඩයල් වලට එහෙම කියන එක හරිනැති බව අපේ අම්මට තේරෙන්නෑ.

දැං එතකොට මේ අවුලට මගේ විසඳුම මොකද්ද? සරලයි. උපද්දන්න එපා. අලුතෙං මනුස්සෙක් හැදුවෙ නැත්තං ඌට ඉගෙනගන්න, රස්සා කරන්න වෙන්නෑනෙ, ලෙඩ හැදෙන්නෙ නෑනෙ. උපද්දලා ප්‍රශ්නයක් ඇති කරලා දැං ඉතිං අපිට කොරන්න දෙයක් නෑ කියා කියනවට වඩා හොඳ නැද්ද ප්‍රශ්නයක් හදන්නෙ නැතුව හිටියා නං?

මං දැං ඕක කියන්න ගියා නං අපේ අම්මා මාව කුරුසියෙ ඇණ ගහලා මානව වර්ගයාට එරෙහි මනුස්සයෙක් විසින් කරපු (කියපු) විශාලම වැරදට. ඒ වුණාට ඒක තමයි ඇත්ත. ඉපදීම නැතිකරන්න ඕනි නං උපද්දන්නෙ නැතුව ඉන්න. ඉවරයි. මට මනුස්ස වර්ගයා කෙරෙහි තියෙන ජෙනරල් අප්‍රසන්න ගතිය වැඩි වුණාම තමයි මෙහෙම දේවල් ලියවෙන්නෙ.

එහෙනං ඔයාලා හැමෝටම අමා මහ නිවනින් සැනසීම ලැබේවා! අපි ගියා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s